දකුණු පළාත් හිටපු මහ ඇමති ලේකම්වරයෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන වච්චි හෙන්නදිගේ දයාපාල නැමැත්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් මිලියන 16.5ක වටිනාකමකින් යුත් රජයේ ව්‍යාපෘතියක සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඊයේ (15) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.​මෙම මූල්‍ය වංචාව සිදුව ඇත්තේ 2019 වසරේදී දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලද පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ ව්‍යාපෘතියක් හරහාය. එහිදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වෙමින්, වංචනික ලෙස ව්‍යාපාරික සමාගමක් තෝරාගෙන එම ආයතනයට අයුතු වාසි සැලසීම ඇතුළු චෝදනා රැසක් විමර්ශනවලදී සැකකරුට එරෙහිව අනාවරණය වී ඇත.​එමෙන්ම, දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සංගම් වෙත නොමිලේ බෙදා දීමට වෙන් කර තිබූ පුටු 16,361ක ප්‍රමාණයක්, නියමිත ප්‍රතිලාභීන් වෙත ලබා නොදී පළාතේ දිස්ත්‍රික්ක තුනම නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවෙස් සහ කාර්යාල වෙත ප්‍රවාහනය කර බෙදා හැර තිබේ. මේ හරහා රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු කර ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,194

Leave A Reply

Your email address will not be published. Required fields are marked *