දිවයිනේ බොහෝ ප්‍රදේශවල ශරීරයට දැනෙන උෂ්ණත්වය හෙවත් ‘හීට් ඉන්ඩෙක්ස්’ අගය මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (20) නිවේදනය කළේය. මෙම තත්ත්වය හමුවේ විජලනය සහ අධික රස්නය නිසා ඇති වන සෞඛ්‍ය සංකූලතාවලින් වැළකීම සඳහා සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. විශේෂයෙන්ම පෙරවරු 10:30 සිට පස්වරු 3:30 දක්වා කාලය තුළ සෘජුව හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීමත්, එළිමහනට යන්නේ නම් කුඩ හෝ හිස්වැසුම් භාවිත කිරීමත් ඉතා වැදගත් වේ.ශරීරයේ උෂ්ණත්වය නිසි පරිදි පවත්වා ගැනීම සඳහා දිනකට ජලය ලීටර් 2.5ක් හෝ 3ක් පමණ පානය කිරීමට හුරු විය යුතුය. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර ජලය පානය කිරීම සහ සැහැල්ලු, ලා පැහැති කපු ඇඳුම් භාවිතය මඟින් පවතින රස්නය පාලනය කරගත හැකිය. ඔබේ ශරීරයේ ජලය මට්ටම පරීක්ෂා කර ගැනීමට මුත්‍රා පැහැය කෙරෙහි අවධානය යොමු කරන්න; මුත්‍රා තද කහ පැහැයක් ගන්නේ නම් එය විජලනයේ ලක්ෂණයක් බැවින් වැඩිපුර ජලය පානය කිරීමට වගබලා ගත යුතුය.පවතින උණුසුම් කාලගුණය තුළ කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගීන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම දරුවන් සංවෘත වාහන තුළ තනි කර නොයාමට දෙමාපියන් වගබලා ගත යුතු අතර නිවස තුළ හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස දොර ජනෙල් විවෘතව තැබීම උචිතය. යම් හෙයකින් තදබල මහන්සිය, ක්ලාන්ත ගතිය හෝ සම රතු වීම වැනි අසාමාන්‍ය රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම සෙවණ ඇති සිසිල් ස්ථානයකට ගොස් වෛද්‍ය සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
























