දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. අද (24) පෙරවරු 6.00 සිට හෙට (25) පෙරවරු 6.00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. මීට අදාළව කෑගල්ල, රත්නපුර, කොළඹ, ගම්පහ, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පදිංචි වැසියන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල යන ප්‍රදේශ මීට ඇතුළත් වේ. මීට අමතරව සීතාවක, පාදුක්ක, අත්තනගල්ල, ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, පාලින්දනුවර, මතුගම, අගලවත්ත සහ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.පොළොවේ හදිසියේ ඇති වන පැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම් මෙන්ම බොරදිය උල්පත් මතුවීම වැනි නායයෑම් පූර්ව ලක්ෂණ කෙරෙහි මහජනතාව දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව එම සංවිධානය පවසයි. නායයෑම් අවදානමක් සහිත බෑවුම් සහ කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව, අවශ්‍යතාවයක් වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානමින් සිටිය යුතු බව ද දන්වා සිටියි.



























