දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉදිරි දිනයන්හිදී මිනිස් සිරුරට තදින් උණුසුම දැනෙන කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා අංශ පවසයි. මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම නිවේදනයකට අනුව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම බලපෑම දැඩි වනු ඇත.අදාළ කලාපවල ජනතාවට දහවල් කාලයේදී “අවධානය යොමු කළ යුතු” මට්ටමේ උණුසුම් දර්ශකයක් අත්විඳීමට සිදුවනු ඇති බව සඳහන් වේ. විශේෂයෙන්ම සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකීම සහ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම මඟින් මෙම උණුසුම් කාලගුණ තත්ත්වයෙන් සිරුර ආරක්ෂා කරගැනීමට පියවර ගැනීම ඉතා වැදගත් වේ.මෙම කාලගුණික තත්ත්වය හමුවේ කුඩා දරුවන්, වයෝවෘද්ධ පුරවැසියන් සහ විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඔවුන් හිරු රස්නයෙන් මුදවා ගැනීමට සහ සුව පහසු සැහැල්ලු ඇඳුම් භාවිත කිරීමට කටයුතු කිරීම සුදුසුය.



























