නව බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

පසුගිය ජූනි 30 වන දින සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින්, බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පවතින බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාත්මක වේ. එම ප්‍රතිපත්තිය අනුව වාර්ෂිකව ජූලි මස 01 වන දින බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම අනිවාර්ය වේ.​මේ සඳහා පසුගිය කාලසීමාව තුළ ඉන්ධන මිලෙහි සිදුවූ උච්ඡාවචනයන්, අමතර කොටස්වල මිල ඉහළ යෑම සහ ඩොලරයේ අගය වැනි කරුණු ප්‍රබල ලෙස බලපා ඇත. එසේම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සහ නවීන පත්ල පහත් (low-floor) බස් රථවල මෙහෙයුම් වියදම් ආදියද සැලකිල්ලට ගනිමින් මහජන ප්‍රවාහන සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පැන නැගී තිබේ.​මෙම අභියෝග කළමනාකරණය කරමින් බස් කර්මාන්තයේ පැවැත්ම තහවුරු කිරීමටත්, මහජනතාවට සාධාරණ සේවාවක් ලබා දීමටත් දැනට පවතින බස් ගාස්තු සූත්‍රය සහ පිරිවැය දර්ශකය යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇත. ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇති අතර, එමගින් ගාස්තු ව්‍යුහය වඩාත් යථාර්ථවාදී ලෙස සංශෝධනය කිරීමේ නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,215

Leave A Reply

Your email address will not be published. Required fields are marked *