නිරිතදිග මෝසම සක්‍රිය වෙයි: 26 වනදා සිට වැසි තද වෙයි

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් එළැඹෙන මැයි 26, 27 සහ 28 යන දිනවලදී දිවයිනේ නිරිතදිග කලාපයට ලැබෙන වර්ෂාපතනය තවදුරටත් තීව්‍ර විය හැකි බවට අනතුරු ඇඟවේ. පසුගිය දිනවල ඇද හැළුණු තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක පුද්ගලයන් 28,933 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, පවුල් 491ක් මේ වන විටත් ආරක්ෂිත ස්ථානවල රඳවා තැබීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.​පෙර පැවති වර්ෂාව නිසා ඉහළ ගිය ප්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වන විට ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙමින් පවතින මුත්, කළු ගඟේ මිල්ලකන්ද සහ පුටුපාවුල යන ප්‍රදේශවල තවමත් පවතින්නේ සුළු ගංවතුර තත්ත්වයකි. අත්තනගලු ඔයේ ජල මට්ටම පහත බසිමින් තිබුණ ද දූනමලේ අවට වැසියන්ට විමසිලිමත්ව පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර, ජා ඇළ ප්‍රදේශයේ නිවාස සහ මාර්ග රැසක් තවමත් ජලයෙන් යටවී පවතින බව වාර්තා වේ.​ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවට පත්වීමට දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් පැති බැමි මෙතෙක් පිළිසකර නොකිරීම සහ පාලම් බිඳ වැටී තිබීම ද ප්‍රධාන හේතුවක් වී තිබේ. ඉදිරි දිනවලදී වර්ෂාපතනය නැවතත් ඉහළ යා හැකි බැවින්, සිදුවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයකින් සහ විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,156

Leave A Reply

Your email address will not be published. Required fields are marked *