ඩෙංගු රෝග ව්‍යාප්තිය මර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් දිවයිනේ සියලුම පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන කලාප ආවරණය වන පරිදි විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලබන ජුනි 18 වනදා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන සුරක්ෂිත කලාප බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් ද මේ වන විටත් සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත නිකුත් කර තිබේ.මෙම විශේෂ දින වැඩසටහන යටතේ පාසල් භූමියේ ජලය රැඳිය හැකි හිස් ටින්, බෝතල්, ටයර් ඇතුළු බැහැර කළ ද්‍රව්‍ය ඉවත් කිරීම සහ ගොඩනැගිලි වහල, වැහි පීලි මෙන්ම ජලාපවහන පද්ධති පරීක්ෂා කර පිරිසිදු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව ඇත. තවද, පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් සහ දෙමාපියන්ගේ සක්‍රීය දායකත්වය ඇතිව පාසල් මෙන්ම ඒ අවට වටපිටාව ද අඛණ්ඩව පිරිසිදුව තබා ගැනීමටත්, මදුරු උවදුරෙන් ආරක්ෂා වීම පිළිබඳව සිසුන් සහ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් දැනුවත් කිරීමටත් පියවර ගැනේ.නිරෝගී අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියාත්මක වන මෙම සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ ඉතා තීරණාත්මක එකක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. එබැවින් වගකිවයුතු සියලුම අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ පාසල් ප්‍රධානීන් උපරිම කැපවීමකින් හා වගකීමකින් යුතුව මෙම විශේෂ මර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.



























