පසුගියදා අනතුරකට මුහුණ දුන් ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය අද (27) සිට යළිත් සිය ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා තහවුරු කළේ, අලුත්වැඩියා කටයුතු නිම කිරීමෙන් පසු අද සිට පෙර පරිදිම දුම්රිය සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනයට එක් කරන බවයි.මෙම අනතුර සිදු වූයේ පසුගිය 24 වැනිදා බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබියදීය. වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදු වූ මෙම පිලි පැනීමෙන් දුම්රියේ සමස්ත මැදිරි 13න් 11ක්ම පිලි පැනීමට ලක් වූ අතර, එමඟින් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රතිඵල ලැබෙන තෙක් අදාළ දුම්රිය මෙහෙයවූ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව සිද්ධිය වූ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි දුම්රිය රියදුරු, සහයක රියදුරු, නියාමක සහ උප නියාමක යන පිරිස විමර්ශන අවසන් වනතුරු ධාවන කටයුතුවලින් ඉවත් කර තිබේ.අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක්ද නැතහොත් මානව අතපසුවීමක්ද යන්න පිළිබඳව දුම්රිය බලධාරීන් මේ වන විට පුළුල් පරීක්ෂණ පවත්වයි. එතෙක් මගී ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගනිමින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

























