පොසොන් දන්සල් සහ තොරණ සංවිධානයට පොලිස් අනුමැතිය අනිවාර්ය කෙරේ

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සල් සහ තොරණ සංවිධානය කරන සියලුම පිරිස් ඒ පිළිබඳව අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා කල්තියා දැනුවත් කිරීම අනිවාර්ය බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. මෙමඟින් දන්සල් පැවැත්වීම අධෛර්යමත් නොකරන අතර, උත්සව සමයේ සිදුවන අධික රථවාහන තදබදය පාලනය කිරීම සහ මහජන ආරක්ෂාව වඩාත් විධිමත් අයුරින් තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම වාහන නැවැත්වීම සහ මාර්ග තදබදය අවම කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ඍජු මඟපෙන්වීම සහ උපදෙස් ලබාගත යුතු වේ.​මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා, යම් රිය අනතුරක් සිදුවුවහොත් පැය 24ක් ඇතුළත එය පොලිසියට වාර්තා කිරීම රියදුරන්ගේ නීතිමය වගකීමක් බව අවධාරණය කළේය. අනතුරක් සිදුවූ ස්ථානයේදීම පාර්ශවයන් අතර පමණක් බේරුම් කරගනිමින් සිදුවීම් වසන් කිරීමට උත්සාහ කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය. සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙවර මාරක රිය අනතුරු ඉහළ ගොස් තිබුණද, සතිපතා දත්ත දෙස බැලීමේදී එහි යම් අඩුවීමක් වර්තමානය වන විට දක්නට ලැබේ.​මීට අමතරව, මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් පොලිසිය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මඟින් මේ වසර තුළ පමණක් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන පදවන ලද රියදුරන් 7,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. එබැවින් උත්සව සමයේ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය පනවා ඇති මාර්ග ආරක්ෂණ නීතිරීති සහ උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස සංවිධායකයින්ගෙන් සහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *