පොළොන්නරුව හා අනුරාධපුර නියඟය උග්‍ර වෙයි: ජනතාවට බවුසර් මගින් ජලය සැපයේ

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජන ජීවිතය දැඩි ලෙස අඩාල වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම එල් නිනෝ තත්ත්වයේ බලපෑම මත උද්ගත වී ඇති මෙම අයහපත් කාලගුණය නිසා ප්‍රදේශයේ බොහෝ ජල මූලාශ්‍ර සහ කුඩා වැව් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.​මේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, වැලිකන්ද සහ හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල පවුල් රැසක් මේ වන විට දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. පීඩාවට පත් මෙම ජනතාවගේ දෛනික පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මේ වන විට බවුසර් රථ මගින් ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.​ග්‍රාමීය ජල යෝජනා ක්‍රම රැසකට සහන සලසමින්, මාදුරු ඔය ජලාශයේ ඉසෙඩ්.ඊ.(ZD) ඇළ මාර්ගය වැසි සමය උදාවන තුරු අඛණ්ඩව විවෘතව තැබීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමඟ එකඟතාවකට පැමිණ ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ප්‍රකාශ කළේය. එපමණක් නොව, නියඟය නිසා ගොඩබෝග වගාවන් හානියට පත් වූ පවුල් 209ක් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට අවශ්‍ය වියළි සලාක සහ අනෙකුත් සහන ලබා දීමටද අදාළ අංශ දැනුවත් කර ඇත.​මේ අතර, මහවැලි ‘බී’ කලාපයේ උද්ගත වී ඇති මෙම බරපතල ජල අර්බුදය හේතුවෙන් ප්‍රදේශයේ කිරි ගොවීන්ද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. සතුන්ට අවශ්‍ය ප්‍රමාණවත් තරම් තණකොළ සහ පානීය ජලය සොයා ගැනීමට නොහැකි වීම නිසා කිරි ගොවීන්ගේ දෛනික කිරි නිෂ්පාදන කටයුතු ද දැඩි ලෙස පහළ බැස තිබේ.​වර්ෂාව ලැබෙන තුරු තම දෛනික ජීවිතය පවත්වාගෙන යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් යටතේ අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු කරන ලෙස පීඩාවට පත් ජනතාව රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් එකතු වී ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *