භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ සැකකරු සහ බිරිඳ යාපනයේදී කොටු වෙයි

නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලකදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ යාපනයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වලාන දූෂණ මර්දන ඒකකය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, බස් රථයකින් ගමන් කරමින් සිටි මොවුන් දෙදෙනා අද (24) උදෑසන අත්අඩංගුවට ගැනීමට හැකි විය. පොලිස් ඇසට වැලිගසමින් පළායෑම සඳහා සැකකරු මුව ආවරණ පළඳා වෙස්වලාගෙන සිටි අතර ඔහුගේ බිරිඳ ද ඇඳුම් පැළඳුම් මගින් ඇගේ ස්වරූපය වෙනස් කරගෙන සිටි බව විමර්ශනවලදී හෙළි වී ඇත.​මෙම සාහසික අපරාධය අනාවරණය වූයේ පසුගිය 17 වනදා තෙල්දෙණිය ප්‍රදේශයේ දමාගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී අම්පාර මහ රෝහලේ සේවය කළ 33 හැවිරිදි මෙම තරුණියගේ මළසිරුර සොයාගැනීමත් සමඟය. නුවරඑළියේ පිහිටි නිවාස සංකීර්ණයක කුලී පදනම මත ලබාගත් කාමරයක් තුළදී ඇයව ඝාතනය කර ඇති අතර, සැකකරු විසින් ඇගේ සිරුර ඔසවාගෙන රාත්‍රී කාලයේදී එතැනින් පිටවන අයුරු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබිණි. පසුව පොලිසිය මහජන සහායද ඇතිව සැකකරුගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් පුළුල් සෙවීමක් දියත් කළේය.​පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් සහ ව්‍යාජ කොණ්ඩයක් භාවිත කරමින් තමාගේ සැබෑ අනන්‍යතාව සඟවා මෙම තරුණිය රවටා ඇති බවයි. කැනඩාවට රැගෙන යන බවට සහ විවාහ වන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් ඔහු අවස්ථා කිහිපයකදී ඇයගෙන් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් වංචා කර තිබේ. කලක සිට සැලසුම් සහගතව මෙම අපරාධය සිදුකර ඇති සැකකරු, මීට පෙරද මෙලෙස තරුණියන් රවටා මුදල් ගැරූ පුද්ගලයෙකු බව හෙළි වී ඇති අතර අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළගෙන් පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,203

Leave A Reply

Your email address will not be published. Required fields are marked *