මත්ද්‍රව්‍ය භාවිතය සහ ඒ ආශ්‍රිත වැරදි හේතුවෙන් පරිවාස භාරයට පත් වූ දරුවන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා නව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති කාන්තා හා ළමා කටයුතු පිළිබඳ සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව අවධාරණය කළ අතර, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කාන්තා සහ ළමා අනුකමිටු පිහිටුවීමේ ක්‍රියාවලිය ද මේ යටතේ සිදු කෙරේ.මෙම අනුකමිටු හරහා අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල වගකිවයුතු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අදාළ ක්ෂේත්‍රවල ගැටලු සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින කාන්තා හා ළමා සංඛ්‍යාලේඛනවල පවතින දත්ත මදිකම් සහ අඩුපාඩු නිවැරදි කරගන්නා ලෙසත්, ක්ෂේත්‍ර මට්ටමේ පවතින නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් මැදිහත් වන බවත් ඇය නිලධාරීන්ට දැනුම් දුන්නාය.පරිවාසගත දරුවන් ස්වාධීන පුරවැසියන් ලෙස ගොඩනැගීමේ අරමුණින්, වෘත්තීය අධ්‍යාපනයට යොමු කළ හැකි දරුවන් හඳුනාගෙන ඔවුන් සඳහා විශේෂ වාර්තාවක් සකස් කරන ලෙස උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස්වරියට උපදෙස් ලබා දෙන ලදී. රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ පවතින සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම තුළින් මෙම දරුවන්ට නිසි වෘත්තීය පුහුණුවක් ලබා දී ඔවුන් සමාජයට සාර්ථකව මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය හේරත් මහතා, දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය ආයතන එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.























