මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ සුදුසුකම් අභියෝගයට ලක් කළ පෙත්සම අගෝස්තු 31 විභාගයට

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රාමනාදන් අර්චුනා මහතාට මන්ත්‍රී ධුරය දැරීමට ඇති සුදුසුකම් අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන රිට් පෙත්සම ලබන අගෝස්තු මස 31 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) තීරණය කළේය. අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් නිසි පරිදි ස්ථාපිත නොවීම හේතුවෙන් අද දින මෙම නඩුව නැවත කැඳවුණු අතර, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරු මහේන් ගොපල්ලව මහතා එදින නඩු ලැයිස්තුවේ මුලින්ම මෙය කැඳවන ලෙස නියෝග කළේය.​සමාජ ක්‍රියාකාරික ඔෂධ හේරත් මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් මන්ත්‍රීවරයාට එරෙහිව ‘වෝ වරෙන්ටෝ’ (Quo Warranto) රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත. රාමනාදන් අර්චුනා මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ රජයේ නිලධාරියෙකු බැවින් ඔහු රජය සමඟ සෘජු කොන්ත්‍රාත් සම්බන්ධතාවක් පැවැත්වූවකු බව පෙත්සම්කරු පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(e) වගන්තිය ප්‍රකාරව එවැනි සබඳතා ඇති පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් පවතින බව එහි සඳහන් වේ.​අද දින අධිකරණය හමුවේ පෙත්සම්කාර ඔෂධ හේරත් මහතා වෙනුවෙන් නීතිඥ එන්.කේ. අශෝක් බරන් සහ ෂෙනාල් ප්‍රනාන්දු යන මහත්වරු පෙනී සිටි අතර, වගඋත්තරකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ සේනානි දයාරත්න සහ නිෂාදි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු කරුණු දැක්වූහ. මීට අමතරව නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *