රජරට විශ්වවිද්‍යාලය තුළ පවතින බරපතළ නේවාසිකාගාර හිඟයට බලධාරීන් මෙතෙක් ස්ථිර විසඳුමක් ලබාදී නොමැති බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි. ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එහි සභාපති දිමුතු ලක්ෂාන් මහතා ප්‍රකාශ කළේ, පූර්ණ නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස හැඳින්වුවද එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව වන 8,000න් නේවාසිකාගාර පහසුකම් හිමිවන්නේ 4,000කට ආසන්න පිරිසකට පමණක් බවයි. ඉතිරි සිසුන් 4,000කගේ ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස, විශ්වවිද්‍යාලය අසල පිහිටි රාජ්‍ය පරිපාලන නිල නිවාස සංකීර්ණය ලබාදෙන ලෙස ඉල්ලුවද ඊට ප්‍රතිචාර ලෙස ශිෂ්‍ය නායකයන්ට නඩු පවරමින් මර්දනයක් දියත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.මීට අමතරව, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අයවැයෙන් 6%ක් වෙන් කරන බවට පොරොන්දු වුවද වත්මන් රජය වෙන්කර ඇත්තේ 2.04%ක අවම ප්‍රතිශතයක් බව ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි. පසුගිය වසරට සාපේක්ෂව උසස් අධ්‍යාපන ක්ෂේත්රයෙන් රුපියල් මිලියන 1,600ක් සහ පාසල් ක්ෂේත්රයෙන් රුපියල් මිලියන 500කට ආසන්න ප්‍රතිපාදන කප්පාදුවක් සිදුකර ඇති බව ද එහිදී අනාවරණය විය. පවතින මෙන්ම පසුගිය ආණ්ඩු ද මෙම අධ්‍යාපන කප්පාදුවලට සහ ශිෂ්‍ය ගැටලුවලට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවට ඔවුහු විවේචනය කරති.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරය) වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට ද සභාපතිවරයා මෙහිදී පිළිතුරු දුන්නේය. ‘අන්තරය’ සතුව වසර 40ක ප්‍රෞඪ ඉතිහාසයක් පවතින බව සිහිපත් කළ ඔහු, වත්මන් ආණ්ඩුවට පක්ෂපාතීව හෝ පාලකයන්ගේ වුවමනාවන් මත කටයුතු කරන පිරිස් කිසිසේත්ම සැබෑ ‘අන්තරය’ ලෙස සැලකිය නොහැකි බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.

























