කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් මිලියන 10ක් වටිනා සීටී ස්කෑන් යන්ත්රයක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතාවක් සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ මෝසමක් ගොනු කරමින් මේ පිළිබඳව අධිකරණය දැනුවත් කර ඇත.පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති මෙම මෝසම මගින් ශිරන්ති රාජපක්ෂ, ඩී. එස්. කේ. එස්. කුමාරි සහ කේ. එච්. නිරෝෂා යන අයට එරෙහිව කරුණු ඉදිරිපත් කර තිබේ. අදාළ සිදුවීම තුළින් රජයේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවට මූලික නිරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.ඉදිරිපත් වූ කරුණු සලකා බලමින්, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළ අතර, එතෙක් අදාළ නඩුව බහා තැබීමට තීරණය කළේය.



























