ශ්‍රී ලංකා රුපියලය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම හේතුවෙන් 2025 වසරේ විදේශ ණය ප්‍රතිගෙවීම් සඳහා අමතර රුපියල් බිලියන 48ක මුදලක් දැරීමට සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) රැස්වීමේදී අනාවරණය විය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාව හමුවට පෙනී සිටි අවස්ථාවේදී මෙම හෙළිදරව්ව සිදු කරන ලද අතර, කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පසුගිය වසරේ විදේශ ණය සේවාකරණය සඳහා විනිමය අනුපාත වෙනස හේතුවෙන් වැය වූ නිශ්චිත අමතර මුදල කොපමණදැයි විමසන ලදී.ඊට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් උදේනි තිලකරත්න මහතා සඳහන් කළේ, අප විසින් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.4ක් ආපසු ගෙවා ඇති බවත්, එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 20ක විනිමය අනුපාත වෙනසක් පදනම් කරගනිමින් බිලියන 2.4, රුපියල් 20කින් වැඩි කිරීමෙන් මෙම අමතර වියදම ලැබී ඇති බවත්ය. මේ අතර, 2025 වසරේ විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය වූ තවත් අතිරේක ඇමරිකානු ඩොලර් මිලියන 600ක් සම්බන්ධයෙන්ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළ අතර, නිලධාරීන් විසින් මෝඛික පැහැදිලි කිරීමක් ලබා දුන්නද, මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.























