රෝග වැළඳුණු පසු ප්‍රතිකාර කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව, රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා පෝෂණවේදය කේන්ද්‍ර කරගත් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය එක්ව සංවිධානය කළ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඔහු අවධාරණය කළේ පෝෂණය යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහායක අංගයක් නොව, සමස්ත ප්‍රතිපත්ති සම්පාදනයේ මූලික කුළුණක් විය යුතු බවයි.දේශීය හා විදේශීය විශේෂඥ වෛද්‍යවරුන් සහ පෝෂණ විද්‍යාඥයින් රැසකගේ සහභාගීත්වයෙන්, “සායනික සත්කාරයේ පෝෂණය සුසංයෝගී කිරීම: දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට” යන තේමාව යටතේ මෙම විද්වත් සමුළුව පැවැත්විණි. මෙහිදී ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ආහාර තේරීම් සහ වෙළඳපොළ නියාමනය ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා, ආහාර පනත යටතේ දියර ආහාර නිෂ්පාදනවල සීනි ප්‍රමාණය පාලනය කිරීමට හඳුන්වා දුන් වර්ණ කේත ලේබල්කරණ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කර ඇති බව ද සිහිපත් කළේය.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විද්වතුන් පිරිසක් එක්ව සිටි මෙම ශාස්ත්‍රීය සංසදය, මෙරට සායනික පෝෂණ ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පෝෂණ වෛද්‍ය විද්‍යාවේ නවීන සොයාගැනීම් රාජ්‍ය ප්‍රතිපත්තිවලට බද්ධ කිරීම හරහා ඖෂධ වෙනුවෙන් වැයවන අතිවිශාල ජාතික ධනය ඉතිරි කරගනිමින් නිරෝගී ශ්‍රම බලකායක් බිහිකිරීම රජයේ දිගුකාලීන අරමුණයි.

























