ලංකා බැංකුවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් නවීකරණය කිරීමේ අරමුණින්, බැංකුවේම අරමුදල් යොදවා නව ප්‍රධාන බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් දැරීමට සිදුවන අතර, වසර පහක කාලයක් සඳහා සුදුසු සේවා සපයන්නෙකු තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.වසර 22ක් පුරා භාවිත කළ දැනට පවතින ‘International Comprehensive Banking System’ පද්ධතිය, දේශීය මෙන්ම විදේශීය ශාඛාවන්හි සිල්ලර සහ ආයතනික බැංකු කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. වර්තමාන බැංකු ක්ෂේත්‍රයේ පවතින තාක්ෂණික දියුණුව සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට එම පැරණි පද්ධතියේ තාක්ෂණය සහ විශේෂාංග ප්‍රමාණවත් නොවන බැවින්, මෙලෙස නවීන පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

























