පසුගිය ඉන්ධන අර්බුදය පැවති සමයේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝකයේ වෙනත් කිසිදු රටක් නොගෙවූ අන්දමේ අතිවිශාල මිලකට ඩීසල් මිලදී ගෙන ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (20) ප්‍රකාශ කළේය. HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශ උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ ඩීසල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 224ක්ව පැවති වකවානුවක, ලංකාව එක් බැරලයක් සඳහා ඩොලර් 286ක මුදලක් ගෙවා ඇති බවයි. මෙලෙස බැරලයකට ඩොලර් 62ක අමතර ‘ප්‍රිමියම්’ මුදලක් ගෙවීම හරහා එක් ඉන්ධන නැවකින් පමණක් රුපියල් කෝටි 586ක පාඩුවක් රටට සිදුව ඇති බව ඒ මහතා ගණන් බලා පෙන්වා දෙයි.සාමකාමී කලාපවලින් ඉන්ධන ගෙන්වීමේදී පවා මෙතරම් අධික නැව් ගාස්තු සහ රක්ෂණ වාරික ගෙවීමට සිදුව ඇත්තේ දේශපාලනඥයන්ට සහ තැරැව්කරුවන්ට ගෙවන කොමිස් මුදල් නිසාදැයි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය. රජයට සහ හිටපු බලශක්ති අමාත්‍යවරයාට බරපතල දූෂණ චෝදනා එල්ල කළ ගම්මන්පිල මහතා, තමන් ඉදිරිපත් කළ මෙම දත්ත අසත්‍ය නම් තමන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද අභියෝග කර සිටියේය. සාමාන්‍යයෙන් බැරල් ලක්ෂ තුනක් රැගත් එක් නෞකාවකින් මෙරට ජනතාවගේ මුදල් කෝටි ගණනින් අවභාවිත වී ඇති බව ඔහුගේ ප්‍රධාන චෝදනාව වී තිබේ.
























