ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට දිවා ආහාරය

ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත කෘෂිකාර්මික උපකරණ ප්‍රදානය කිරීම අද (28) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.​ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.​මෙම වැඩසටහන යටතේ දැනටමත් දිවයින පුරා පාසල් 2,013ක සිසුන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට කටයුතු කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් පාසල් 400ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ හරහා දරුවන්ගේ මන්දපෝෂණය පිටුදැකීමට අපේක්ෂා කෙරේ.​ලෝක ආහාර වැඩසටහන 1968 වසරේ සිට මෙරට පෝෂණ සංවර්ධන කටයුතු සහ ආපදා සහන සේවා සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය හරහා ඉතා විධිමත් ලෙස සම්බන්ධීකරණය කරනු ලබයි.​මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි, ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත පිලිප් වෝඩ් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් රැසක් සහභාගී වූහ. නව ආරම්භයක් ලෙස මෙම උපකරණ උපයෝගී කරගනිමින් දරුවන්ගේ අනාගතය මෙන්ම ජීවන තත්ත්වය උසස් කරගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,306

Leave A Reply

Your email address will not be published. Required fields are marked *