ලෝක හෙපටයිටිස් ශූරයින් අතරට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සත්‍යා හේරත්

ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානය (CGHE) මගින් ප්‍රකාශයට පත් කළ 2026 වසරේ ‘හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන්’ (Hepatitis Elimination Champions) අතරට ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව සිටියි.​ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) ප්‍රධාන අවදානම් ජනගහන අංශයේ ජාතික වැඩසටහන් විශේෂඥ වෛද්‍යවරිය ලෙස කටයුතු කරන ඇය, මෙරට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉටුකළ අසමසම සේවය උදෙසා මෙම ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත.​ජූලි 28 වන දිනට යෙදෙන ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව CGHE සංවිධානය විසින් මෙම නාමලේඛනය ප්‍රකාශයට පත් කර ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදනය, දැනුවත් කිරීම සහ නව්‍ය සේවා සැපයීම වෙනුවෙන් ලොව පුරා තේරී පත්වුණු ප්‍රමුඛයන් සිව්දෙනා අතරට ඇය ඇතුළත්ව තිබේ.​2030 වසර වන විට වෛරස් හෙපටයිටිස් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගෙනයාම වෙනුවෙන් ඇය ලබාදුන් තාක්ෂණික සහ ප්‍රජා මූලික නායකත්වය CGHE සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.​විශේෂයෙන්ම හෙපටයිටිස් C රෝගීන් කල්තියා හඳුනා ගැනීම, ප්‍රතිකාර ආරම්භ කිරීම සහ පූර්ණ සුවය ලබාදීම වෙනුවෙන් වැඩි අවදානමක් සහිත ජනගහනය ඉලක්ක කර ගනිමින් ඇය හඳුන්වා දුන් නව්‍ය සේවා ආකෘති මෙහිදී ප්‍රධාන හේතුවක් විය.​මෙරට HIV, හෙපටයිටිස් B, C සහ අනෙකුත් ලිංගාශ්‍රිත ආසාදන වැළැක්වීම සඳහා ප්‍රජා මූලික ප්‍රවේශයන් රැසක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පුරෝගාමී වී ඇත.​එක් ස්ථානයකින් සියලු සෞඛ්‍ය සේවා ලබාදීමේ “One Stop Shop” ආකෘතිය 2018 වසරේ සිට මෙරටට හඳුන්වාදීමට සහ සංවර්ධනය කිරීමට ඇය මූලිකත්වයගෙන කටයුතු කළාය.​එම සංකල්පය ඔස්සේ සෞඛ්‍ය අධ්‍යාපනය, ක්ෂණික පරික්ෂණ (Point-of-Care Testing), හෙපටයිටිස් ප්‍රතිකාර, හානි අවම කිරීමේ සේවා සහ මනෝසමාජීය සහාය යන සියල්ල එකම වහලක් යටින් ලබාදීමට පියවර ගැනුණි.​මීට අමතරව, 2021 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම කටු සහ සිරින්ජ හුවමාරු වැඩසටහන මෙන්ම 2022 වසරේදී ප්‍රජා මූලික හෙපටයිටිස් C ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීමටද ඇය සක්‍රීයව දායක වූවාය.​මෙම අතිශය සාර්ථක සේවා ව්‍යාපෘති හේතුවෙන් අවදානම් සහිත ජනකොටස් අතර රෝගීන් හඳුනාගැනීම සහ සුවපත් වීමේ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.​එමෙන්ම, ප්‍රජා සම්බන්ධීකරණය වෙනුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පාඨමාලා සකස් කිරීම සහ “මා පිය සුමිතුරෝ” වැඩසටහන හරහා ගර්භණී මව්වරුන් දැනුවත් කිරීමටද ඇය අඛණ්ඩව කටයුතු කරනු ලබයි.​නොසලකා හැරෙන සහ අවදානම් සහිත ප්‍රජාවන් වෙත පවා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ළඟා කරදීමට ඇය දක්වන කැපවීම, මෙරට හෙපටයිටිස් මර්දන ක්‍රියාවලියට මහත් ශක්තියක් වී ඇත.​ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා අනුබද්ධිත The Task Force ජාලය යටතේ ක්‍රියාත්මක වන CGHE සංවිධානය, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල හෙපටයිටිස් තුරන් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් තාක්ෂණික හා උපදේශන සහාය ලබාදෙන ප්‍රමුඛ ආයතනයකි.

What's your reaction?

Related Posts

1 of 1,254

Leave A Reply

Your email address will not be published. Required fields are marked *