තරුණ පරම්පරාවට ගැළපෙන නවීකරණයක් සහ රැකියා උත්පාදනයක් පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් රජය, අද වන විට තරුණ ප්‍රජාවගේ සහ සාමාන්‍ය ජනතාවගේ සියලු බලාපොරොත්තු සුන් කර දමා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. වෘත්තීය සහ ජීවන සුරක්ෂිතතාව වෙනුවෙන් පෙනී සිටින බව කී පාලනයක් තුළ සමස්ත තරුණ පරම්පරාවම දැඩි කලකිරීමකට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.රැකියා ඉල්ලා සාමකාමීව විරෝධතා පවත්වන උපාධිධාරීන්ට පහර දී පලවා හරින තත්ත්වයක් උදාවී ඇති බවත්; ගොවීන්, ධීවරයන් මෙන්ම කම්කරුවන් ද දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවත් හෙතෙම චෝදනා කරයි. මීට අමතරව රාජ්‍ය සේවයේ වෘත්තීය ගෞරවය කෙළෙසමින් රාජ්‍ය සේවකයන්ගේ මානසික ශක්තිය බිඳ දැමීමට ද වත්මන් පාලනය කටයුතු කරමින් සිටින බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.ජනතාව අපේක්ෂා කළ නූතන සමාජ පරිවර්තනය වෙනුවට අද වන විට රට තුළ වෛරය, ඉරිසියාව සහ දේශපාලන පළිගැනීම් රජ කරමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. මෙම තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ අනාගතය පිළිබඳව දෙමාපියන් තුළ පැවති විශ්වාසය මෙන්ම අනාගත පරම්පරාවේ සියලු අපේක්ෂාවන් ද සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියි.

























