ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී අභිමානයෙන් පවත්වනු ලැබීය. පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කරගනිමින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි වියට්නාම් ජනාධිපතිවරයාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.මෙම රාජ්‍ය සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය සබඳතා නව මානයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. දෙරටේ නායකයන් අතර පැවැත්වෙන මෙම සාකච්ඡා හරහා කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීමට ද අපේක්ෂා කෙරේ.නිල පිළිගැනීමේ උත්සවය දෙරටේ ජාතික ගී වාදනයෙන් ආරම්භ වූ අතර, එහිදී වියට්නාම් ජනාධිපතිවරයා වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වනු ලැබීය. අනතුරුව නායකයන් දෙපළ ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිළිගත් අතර, ඉන් පසුව දෙරටේ රාජ්‍ය නියෝජිත පිරිස හඳුන්වා දීමේ කටයුතු සහ නිල ඡායාරූපයකට පෙනී සිටීම ද සිදු විය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් රැසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. දෙරටේම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.දෙරටේ නායකයන් අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින් දෙරටටම වැදගත් වන ක්ෂේත්‍ර රැසක සහයෝගිතාව තහවුරු වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

























