2008 වසරේ අනුරාධපුරයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය විසින් ලබාදුන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය. අදාළ සිද්ධියට වරදකරු වී සිටි උමාර් හතාප් නමැති විත්තිකරු තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් මෙම නියෝගය ලබාදී ඇත.එම ප්‍රහාරය සිදුවූයේ 2008 ඔක්තෝබර් 06 වන දින අනුරාධපුරයේ පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයකදීය. මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මේජර් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් එම ස්ථානයේදීම මියගිය අතර තවත් බොහෝ පිරිසක් බරපතල තුවාල ලැබූහ. නීතිපතිවරයා විසින් පවරන ලද මෙම නඩුව දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අනුරාධපුර මහාධිකරණය විසින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබීය.පසුව මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණය වෙත ගොනු කළ පෙත්සමද මීට පෙර ප්‍රතික්ෂේප වී තිබිණි. මේ අනුව, ශිරාන් ගුණරත්න සහ මේනකා විජේසුන්දර යන විනිසුරු මඩුල්ල හමුවේ ඉදිරිපත් වූ මෙම අවසාන අභියාචනයේදී, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය විසින් ලබාදුන් දඬුවම නීත්‍යානුකූල බව තහවුරු කරමින් එය ස්ථීර කරන ලදී.



























