වසරේ මුල් භාගයේ මැදපෙරදිග කලාපයේ පැවති අර්බුද හේතුවෙන් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය, මැයි මාසයේදී ප්‍රබල ප්‍රකෘතිමත් වීමක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි, ගෝලීය සංචාරක වර්ධනය 3%ක් වැනි මට්ටමක පවතිද්දී ශ්‍රී ලංකාව 10%ක වර්ධනයක් අත්කර ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ. මෙය සංඛ්‍යාත්මකව පසුගිය වසරට සාපේක්ෂව අමතර සංචාරකයින් 10,000කට වැඩි පිරිසකගේ පැමිණීමකි.මාර්තු සහ අප්‍රේල් මාසවලදී සංචාරක පැමිණීම්වල පිළිවෙලින් 19.8%ක සහ 22.3%ක පසුබෑමක් දක්නට ලැබුණද, මැයි මාසයේදී සංචාරකයින් 145,745ක් පැමිණීමත් සමඟ ක්ෂේත්‍රය යළි හිස එසවීමට සමත් විය. වසරේ පළමු මාස පහ තුළ සමස්ත සංචාරක පැමිණීම් 1,022,021ක් ලෙස වාර්තා වේ. ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ, පසුගිය වසරේ සංචාරකයෙකුගෙන් ලැබුණු ආදායම ඩොලර් 148ක් වුවද, මෙම මැයි මාසයේදී එය ඩොලර් 153ක් දක්වා වර්ධනය වී ඇති බවයි.පවතින සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා ජූලි මාසයේ සිට නව ඩිජිටල් ප්‍රචාරණ ව්‍යාපෘති සහ මහජන සම්බන්ධතා වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතය. මෙමගින් වසරේ මැද භාගයේදී ඇති වූ තාවකාලික පසුබෑම මඟහරවා ගනිමින් ඉලක්කගත සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හැකි වනු ඇති බව බලධාරීන් විශ්වාසය පළ කරයි.මේ අතර, සංචාරක වීසා මත පැමිණ මෙරට තුළ නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතුවල සහ සයිබර් අපරාධවල නිරත වන විදේශිකයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අධිකාරිය කටයුතු කරමින් සිටී. මෙවැනි ක්‍රියාවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට සහ රටින් පිටුවහල් කිරීමට කටයුතු යොදා ඇති අතර, නීතියට ගරු කරමින් රටේ සංචාරක ප්‍රතිරූපය රැක ගැනීමට බලධාරීන් ප්‍රමුඛත්වය ලබා දී ඇත.



























