සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ජූලි 04 වැනිදා විවෘත කෙරේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද වෛද්‍ය පීඨ ගොඩනැඟිලි සංකීර්ණය එළඹෙන ජූලි මස 04 වැනිදා සිසු අයිතියට පැවරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිර්මලී වික්‍රමරත්න මහත්මිය පවසයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමාරම්භක උත්සවය සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළු විශේෂ ආරාධිතයන් පිරිසක් එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබිය ඒකාබද්ධව රත්නපුර නව නගරයේ අක්කර 20ක භූමි භාගයක මෙම නව වෛද්‍ය පීඨය නිර්මාණය කර තිබේ.​දේශීය හා විදේශීය මූල්‍ය දායකත්වයෙන් නිම වූ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,096ක් වැය කර ඇති අතර, සෞදි සංවර්ධන අරමුදල මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ආයෝජනය කර ඇත. මේ හේතුවෙන් එරෙහි සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධානී ෆයිසාල් එම්. අල්කහ්තානි මහතා ද මෙම විශේෂ අවස්ථාවට සහභාගී වීමට නියමිතව ඇත. නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම පීඨය මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සංධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​වත්මන් අධ්‍යයන වර්ෂය සඳහා අලුතින් සිසුන් 162 දෙනෙකු ඇතුළත් කරගෙන ඇති අතර, මේ වන විට වෛද්‍ය සිසුන් 750ක් පමණ මෙහි අධ්‍යාපන කටයුතුවල නිරත වෙති. සිසුන් 500කට එකවර නේවාසික පහසුකම් සැලසිය හැකි නේවාසිකාගාර සංකීර්ණයකින් සහ පුද්ගලයන් 1,060කට අසුන් ගත හැකි නවීන ශ්‍රවණාගාරයකින් ද මෙම වෛද්‍ය පීඨ පරිශ්‍රය සමන්විත වේ.

What's your reaction?

Related Posts

1 of 1,217

Leave A Reply

Your email address will not be published. Required fields are marked *