ටෙලිග්‍රෑම් (Telegram) සහ වට්ස්ඇප් (WhatsApp) ඇතුළු සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිලිවල කැපී පෙනෙන වර්ධනයක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ පුද්ගලික තොරතුරු සොරකම් කිරීම, බැංකු සහ සමාජ මාධ්‍ය ගිණුම් හැක් කිරීම (Hacking) මෙන්ම ව්‍යාජ වෙබ් අඩවි හරහා මුදල් වංචා කිරීමේ සිදුවීම් දෛනිකව වාර්තා වේ. පසුගිය වකවානුව තුළ මෙරට රැඳී සිටිමින් මෙවැනි අන්තර්ජාල ජාවාරම් මෙහෙයවූ විදේශිකයන් රැසක් ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.මෙම වංචාකරුවන් විසින් මාර්ගගත රැකියා, ක්ෂණික ණය, මහා පරිමාණ ලොතරැයි සහ වටිනා ත්‍යාග ලබාදෙන බව පවසමින් ජනතාව මුලා කරන බව පොලිසිය පෙන්වා දෙයි. එසේම යුරෝපා රටවල රැකියා සහ උසස් අධ්‍යාපන අවස්ථා සලසා දෙන බව පවසා විවිධ ගිණුම්වලට මුදල් බැර කරවා ගැනීම සහ බැංකු ගිණුම්වල රහස්‍ය මුරපද (Passwords) හෝ QR කේත වංචනිකව ලබාගෙන මුදල් කොල්ලකෑමේ ප්‍රවණතාවක් ද නිරීක්ෂණය වී තිබේ. අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ පවතින අඩු දැනුවත්භාවය, දුර්වල මුරපද භාවිතය සහ නොදන්නා සබැඳි (Links) විවෘත කිරීම නිසා බොහෝ දෙනෙක් මෙලෙස රවටා ගැනීමට ලක්වෙති.මේ හේතුවෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේදී වඩාත් අවබෝධයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම විදේශ රැකියා සහ උසස් අධ්‍යාපන අවස්ථා තෝරාගැනීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි රජයේ අනුමත සහ ලියාපදිංචි ආයතන හරහා පමණක් සම්බන්ධ වන ලෙසත්, කිසිදු විටෙක තමන්ගේ සංවේදී බැංකු තොරතුරු හෝ රහස්‍ය මුරපද බාහිර පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දෙයි.

























