සමාජ මාධ්‍ය හරහා සිදුවන ආදර වංචා පිළිබඳ පොලිස් අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කරගෙන සිදු කෙරෙන වංචනික ප්‍රේම සම්බන්ධතා සහ එමඟින් සිදුවන අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබේ. අන්තර්ජාලය හරහා හඳුනා ගන්නා පුද්ගලයන් සමඟ විශ්වාසය ගොඩනඟාගෙන, පසුව විවාහ පොරොන්දු ලබා දී මුදල් සහ වටිනා භාණ්ඩ කොල්ලකෑම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිහිසුන් කර අතවර කිරීම සහ දේපළ සොරකම් කිරීම වැනි බරපතල අපරාධ රැසක් වාර්තා වී ඇත. ඇතැම් අවස්ථාවලදී මෙම තත්ත්වයන් ඝාතන වැනි ඛේදජනක ඉරණම් දක්වා දුරදිග ගොස් තිබීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය.​මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නාඳුනන පුද්ගලයන් සමඟ කිසිදු විටෙක සංවේදී ඡායාරූප, වීඩියෝ හෝ පෞද්ගලික තොරතුරු බෙදා නොගන්නා ලෙස පොලිසිය අවධාරණය කරයි. අන්තර්ජාලය හරහා හඳුනා ගන්නා පුද්ගලයන් කෙරෙහි ඉක්මනින් විශ්වාසය තබා මුදල් හෝ රන් ආභරණ ලබා දීමෙන් වළකින ලෙසත්, එවැනි පුද්ගලයන් හමුවීමට යාමේදී දැඩි සුපරීක්ෂාකාරී බවකින් කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.​ඔබ හෝ ඔබ දන්නා අයෙකු මෙවැනි වංචාවකට ලක්වී ඇත්නම් හෝ ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම්, වහාම ඒ බව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කිරීමට පියවර ගන්න. හදිසි සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක පොලිස් හදිසි ඇමතුම් අංක 118, 119, 107 හෝ 109 ඇමතීමෙන් අවශ්‍ය ආරක්ෂාව සහ සහාය ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,198

Leave A Reply

Your email address will not be published. Required fields are marked *