මහජන බැංකුව විසින් ලබාගෙන තිබූ ණය මුදල් ආපසු නොගෙවීම හේතුවෙන්, ‘පරාටේ නීතිය’ යටතේ උකස් දේපළ වෙන්දේසි කිරීමට බැංකුව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් එක්ස්පෝර්ට් සමාගම ගොනු කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.ඇමෙරිකානු ඩොලර් මිලියන 1.42කට අධික හිඟ ණය මුදලක් අය කර ගැනීම සඳහා වෙන්දේසි කිරීමේ නීත්‍යානුකූල අයිතිය බැංකුව සතු බව අධිකරණය මෙහිදී තහවුරු කළේය. එමෙන්ම, මෙම පෙත්සම ගොනු කිරීම සඳහා පෙත්සම්කාර සමාගම් වසරකුත් මාස අටක කාලයක් ප්‍රමාද වී ඇති බවත්, එම ප්‍රමාදයට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ රටේ පැවති ආර්ථික අර්බුද හේතුවෙන් තමන් දැඩි පසුබෑමකට ලක්වූ බවයි. තවද, බැංකුව පරාටේ බලතල අවභාවිත කර ඇති බවත්, විනිමය අනුපාත යොදා ගනිමින් ණය මුදල කෘත්‍රිමව වැඩිකර පෙන්වන බවත් ඔවුන් චෝදනා කර තිබුණි. කෙසේ වෙතත්, මෙම තර්ක ප්‍රතික්ෂේප කරමින් බැංකුව කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ වෙන්දේසිය කල් දැමීමට පවා පෙත්සම්කරුවන්ට අවස්ථා ලබා දී තිබියදීත් ඔවුන් ණය පැහැර හැර ඇති බවයි.මහජන බැංකු පනතේ 29D වගන්තියට අනුව බැංකුවේ පරාටේ තීරණ අභියෝගයට ලක් කිරීමට නීතිමය ඉඩක් නොමැති බවද බැංකු පාර්ශ්වය පෙන්වා දුන්නේය. 2021 වසරේදී පරාටේ නිවේදනය නිකුත් කර තිබියදීත් ණය පියවීමට අපොහොසත් වීම හේතුවෙන් බැංකුවට හිඟ මුදල් අය කර ගැනීමට පූර්ණ අයිතිය පවතින බව විනිසුරුවරුන් තීරණය කළහ.මෙම පෙත්සම නිශ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය නියෝග කළේ පෙත්සම්කාර සමාගම් වෙත රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) දඩ මුදලක් නඩු ගාස්තු ලෙස ගෙවන ලෙසයි. ඒ අනුව අදාළ දේපළ වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමට බැංකුවට නීතිමය අවසරය හිමිව තිබේ.



























