රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද (passwords) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබුණද, එමඟින් රටේ ජාතික ආරක්ෂාවට බලපෑමක් එල්ල විය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. අද (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ තාක්ෂණික උපාංග තුළ රටේ ආරක්ෂාවට සෘජුවම බලපාන අතිශය සංවේදී බුද්ධි තොරතුරු අඩංගු වී ඇති බැවින් ඒවා බාහිර පාර්ශ්වයන් වෙත විවෘත වීමේ අවදානමක් පවතින බවයි.අධිකරණ නියෝගයට තමන් සැමවිටම ගරු කරන බව ප්‍රකාශ කළ ගම්මන්පිල මහතා, මෙම රහස්‍ය තොරතුරු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සුරේෂ් සලේ මහතාගේ නීතිඥවරුන් ඉදිරියේදී අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි ද කියා සිටියේය. ඕනෑම රටක බුද්ධි අංශ සතු තොරතුරුවල රහස්‍යභාවය රැක ගැනීම ජාතික ආරක්ෂාවේ ප්‍රධානතම අංගයක් වන බැවින්, මෙවැනි සංවේදී දත්ත අනාරක්ෂිත වීමට ඉඩ නොදිය යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

























