සුරේෂ් සලේ හමුවීමට අවසර ඉල්ලා CID අධ්‍යක්ෂවරයාට ලිපි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට අවස්ථාව දෙන ලෙස ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා විසින් ලිපි මගින් ඉල්ලා තිබේ. CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත මෙම ලිපි යොමු කර ඇත. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට ලක්ව සිටින සලේ මහතා මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන අතර, ඔහු මාරාන්තික උපවාසයක ද නිරත වන බව වාර්තා වේ.​සිය සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කර අධිකරණයට වාර්තා කිරීමේ වෘත්තීය වගකීමක් පවතින බැවින් දිනපතා ඔහුව හමුවීමට අවසර දෙන ලෙස නීතිඥ අසිත් සිරිවර්ධන මහතා ඉල්ලා සිටින අතර, බිරිඳ ද සිය ස්වාමිපුරුෂයා බැලීමට අවසර ඉල්ලා ඇත. මීට පෙර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දී තිබේ.​මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා කටුවපිටිය දේවස්ථාන ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පිරිසක් මීගමුව – කොළඹ මාර්ගයේදී නිහඬ විරෝධතාවයක නිරත විය. වින්දිතයන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ග සහ ලිපි හුවමාරු සිදුවන පසුබිමකය.

What's your reaction?

Related Posts

1 of 1,183

Leave A Reply

Your email address will not be published. Required fields are marked *