ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය සති දෙකක කාලයක් තිස්සේ වසා දමා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අද (13) සිට සිසුන් සඳහා යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබේ. අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර රැසක් ගෙන ඇත.මේ යටතේ, ‘Clean Sri Lanka’ වැඩසටහනට සමගාමීව ඊයේ (12) දවස පුරා විශේෂ මදුරු මර්දන පවිත්‍රතා මෙහෙයුමක් දියත් කෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේදී විශ්වවිද්‍යාල භූමිය පිරිසිදු කිරීම, දුමාරය යෙදීම සහ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සිදු කරන ලදී.මෙම පවිත්‍රතා කටයුතු සඳහා කොළඹ නගර සභාවේ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, යුද හමුදාව, නාවික හමුදාව මෙන්ම විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය ද සිය දායකත්වය ලබා දී ඇත. විශ්වවිද්‍යාලයේ සියලුම අංශවල සෞඛ්යාරක්ෂිත තත්ත්වය තහවුරු කර ඇති බැවින් අද සිට සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු සිදු කෙරෙනු ඇත.























