අතරමඟ නැවතුණු ව්‍යාපෘති නිම කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

පසුගිය රජයන් සමයේ අතරමඟ නතර කර දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කර නිම කිරීමේදී, මුල් ඇස්තමේන්තුව මෙන් තුන් හතර ගුණයක අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අලුතින් ඉදිකළ පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 2019 වසරේදී රුපියල් මිලියන 793ක පිරිවැයකින් නිම කිරීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය, අතරමඟ නැවතීම හේතුවෙන් අවසානයේදී රුපියල් මිලියන 2,900කට අධික මුදලක් වැය කර නිම කිරීමට සිදුවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.​රට පුරා මෙලෙස අතරමඟ නැවතුණු ව්‍යාපෘති 69ක් පමණ හඳුනාගෙන ඇති බවත්, නිසි කලට මුදල් වෙන් නොකිරීම නිසා රුපියල් බිලියන 28කින් නිම කළ හැකිව තිබූ ව්‍යාපෘති 59ක් සඳහා මේ වන විට රුපියල් බිලියන 45ක් වැය කිරීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. මේ අතර, අලුතින් විවෘත වූ මොණරාගල රෝහල් වාට්ටු සංකීර්ණය තුළ මාතෘ හා කාන්තා ශල්‍ය වාට්ටු මෙන්ම නවීන ශල්‍යාගාර 4ක් ද ස්ථාපිත කිරීමට නියමිතය. ඌව වෙල්ලස්ස ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නැංවීම වෙනුවෙන් ඉදිරි වසරේදී මොණරාගල රෝහලට නවීන CT ස්කෑන් යන්ත්‍රයක් සහ රුපියල් මිලියන 317ක සංවර්ධන ව්‍යාපෘති ලබා දෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.​අම්පාර, බදුල්ල සහ මොණරාගල යන රෝහල් ඒකාබද්ධ පද්ධතියක් යටතේ සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර, මෙමඟින් එම පළාත්වල ජනතාවට වඩාත් උසස් සෞඛ්‍ය සේවාවක් සැලසෙනු ඇත. රෝහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,174

Leave A Reply

Your email address will not be published. Required fields are marked *