කතරගම වැඩසිටිකන්ද රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන රැසක විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියන් වෙත අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමේ මහෝත්සවය පසුගියදා සෙල්ලකතරගම ශ්‍රී ධර්මනිකේතන මහ පිරිවෙන් විහාරස්ථානයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දශක ගණනාවක් පුරා උන්වහන්සේ විසින් සම්බුද්ධ ශාසනයට සහ සමාජයට ඉටුකර ඇති අමිල සේවාවන් ඇගයීමට ලක්කරමින් මෙම උසස් නිකායික පදවිය පිරිනැමීම සිදු කෙරුණු අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් නාහිමියන් වෙත අක්තපත්‍රය හෙවත් විජිනිපත පිළිගන්වන ලදී.මෙම පුණ්‍ය අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය මෙන්ම දායක සභාව ද එක්ව සිටි අතර, උත්සව සභාව අමතමින් සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධාරණයක් කෙරිණි. ශාසනික වගකීම් සහ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් නාහිමියන් දක්වන කැපවීම මෙහිදී පැමිණ සිටි සැමගේ ගෞරවාදරයට පාත්‍ර විය.























