මහා භාණ්ඩාගාර ලේකම්වරයාට පූර්ණ හිමිකාරීත්වය යටතේ 100%ක් රජය සතු ආයතනයක් ලෙස ‘සී/ස ජාතික කෘෂි වෙළෙඳ සේවා සමාගම’ පිහිටුවා තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වන මෙමඟින් රට පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 18ක් එකම ආයතනයක් යටතේ විධිමත්ව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.කෘෂි නිෂ්පාදකයන් සෘජුවම වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීම, පසු අස්වනු හානි අවම කිරීම මෙන්ම සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු වෙළෙඳ ක්‍රමයක් බිහි කිරීම මෙහි මූලික අරමුණු අතර වේ. ඒ හරහා පාරිභෝගික ජනතාවට උසස් තත්ත්වයේ ගුණාත්මක නිෂ්පාදන ලබා දීමටත් කටයුතු යොදා ඇත.වෙනස් වන වෙළෙඳපොළ ප්‍රවණතාවන්ට ගැළපෙන අයුරින් යටිතල පහසුකම් දියුණු කිරීම සහ ඩිජිටල් තොරතුරු ක්‍රම හඳුන්වා දීම සමාගම විසින් සිදු කරනු ලබයි. මෙම නව වැඩපිළිවෙළ මඟින් ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට නව වෙළෙඳ අවස්ථා උදා වන අතරම, එය ග්‍රාමීය ආදායම් වර්ධනයට මෙන්ම ජාතික ආහාර සුරක්ෂිතතාව තිරසර ලෙස තහවුරු කිරීමට මහත් රුකුලක් වන බව ආයතනයේ සභාපති වසන්ත සේනානායක මහතා පෙන්වා දෙයි.

























