වත්මන් ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සහ නවීන ප්‍රවණතාවලට ගැළපෙන පරිදි අපොස උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර තිබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මෙම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, එහිදී මෙම විෂය ක්ෂේත්‍රයේ ව්‍යුහය වෙනස් කිරීම සහ සිසුන් ඇතුළත් කර ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු විය.මෙම නව සංශෝධන ඔස්සේ සිසුන්ට පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබා දීම සඳහා ක්‍රමවත් තත්ත්ව සහතිකකරණ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට නියමිතය. එමෙන්ම, වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට උසස් අධ්‍යාපනය කරා යොමු වීම සඳහා පාර්ශ්වික ඇතුළත් වීම් (Lateral Entry) වැනි නව ප්‍රවේශ මාර්ග විවෘත කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මීට අමතරව, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සමාජීය හා ආර්ථික වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී වෘත්තීය විෂය ධාරාව වඩාත් ආකර්ෂණීය හා ඵලදායී ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.



























