එක්සත් ජාතීන්ගේ ලෙබනන් අතුරු බලකායේ (UNIFIL) සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට සූදානම් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම විසින් පවත්වන ලද විශේෂ ආචාර පෙළපාලියක් අද (04) කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු සරඹ භූමියේදී පැවැත්විණි. මෙහිදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ වෙත එම බලකායේ ගෞරවාචාරය පුද කෙරුණු අතර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම විදේශගත වන සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසු නිලයන් 103 දෙනෙකු ඇතුළුව 112 දෙනෙකුගෙන් මෙම සාමසාධක කණ්ඩායම සමන්විත වේ. එහි අණදෙන නිලධාරියා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලුතිනන් කර්නල් කේ.එස්.ආර්.පී. ගුණතිලක කටයුතු කරන අතර, දෙවන අණදෙන නිලධාරියා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලුතිනන් කර්නල් එල්.එල්.සී.එස්. කබ්රාල් වගකීම් දරනු ලබයි.මෙහිදී භට පිරිස් ඇමතූ යුද හමුදාපතිවරයා, ජාත්‍යන්තර මට්ටමින් මෙවැනි මෙහෙයුම් මඟින් රටට සහ හමුදාවට ලැබෙන කීර්තිනාමය පෙන්වා දුන්නේය. එමෙන්ම ලෙබනනයේ රාජකාරි ඉටු කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිරීති හා විනය ඉතා තදින් අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු එහිදී අවධාරණය කළේය.



























