2008 වසරේදී එරාවූර් ප්රදේශයේ පදිංචිව සිටි දේවදාස් සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඊළාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (EPDP) හිටපු සාමාජිකයින් අටදෙනෙකුට මඩකලපුව මහාධිකරණය අද (19) මරණ දඬුවම නියම කළේය.මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්රභාකරන් මහතා විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කළ අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන චෝදනා ලැබ සිටි නවවැනි සැකකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කෙරිණි. 2008 ජුනි 19 වැනිදා චෙන්කලාඩි කඳවුරේ සේවය කළ මෙම පිරිස වෑන් රථයකින් පැමිණ සුරේෂ් කුමාර් පැහැරගෙන ගොස් ඝාතනය කර, සිරුර වළ දමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.



























