දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුගඟේ ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර, ඒ නිසා මීට පෙර ජලයෙන් යටවී තිබූ පැරණි ලග්ගල නගරය හා අවට ගම්මානවල නටබුන් මේ වන විට යළි මතු වෙමින් පවතී. මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිවාස, පාසල්, විහාරස්ථාන සහ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මීට වසර කිහිපයකට පෙර මෙලෙස ජලයට යට කරනු ලැබීය.ජලාශභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පෙන්වා දෙන පරිදි, පවතින නියඟයත් සමඟ ජලාශයේ ජල මට්ටම මේ වන විට සියයට 20ක සීමාව දක්වා අඩු වී තිබේ. මෙම තත්ත්වය මත පැරණි ලග්ගල පල්ලේගම, ගුරුවෙල, රාවණාගම මෙන්ම ගඟහේන්වල සහ ගෝනවල වැනි ප්‍රදේශවල ජලාශ පතුලේ සැඟවී තිබූ නටබුන් මතුපිටට පැමිණ ඇති බව වාර්තා වේ.එහිදී පැරණි ලග්ගල නගර මධ්‍යස්ථානයේ ගොඩනැගිලි අත්තිවාරම්, බුදු පිළිම, විහාරස්ථාන කොටස්, ප්‍රදේශයට පිවිසි පැරණි පාලම මෙන්ම මාර්ග පද්ධතියේ අවශේෂ ඉතා පැහැදිලිව දැකබලා ගැනීමට හැකි වී තිබේ. දැඩි වියළි කාලගුණයත් සමඟ මතුව ඇති මෙම ඓතිහාසික දර්ශන නරඹා ගැනීමට ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින්ද මේ දිනවල එම ප්‍රදේශයට පැමිණෙමින් සිටිති.



























