බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ශල්‍යකර්මයකට ලක්කිරීමෙන් පසු වකුගඩු දෙකම අහිමි වී දරුවෙකු මියයාමේ සිද්ධියට වසර තුනක් ගතවී තිබුණද සාධාරණයක් ඉටු නොවීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිසි සහයෝගයක් නොලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා චෝදනා කරයි.දරුවාගේ වකුගඩු දෙක එකිනෙකට ඇලී තිබූ බැවින් එකක් ඉවත් කිරීමේදී අනෙකද ඉවත් වූ බව රෝහල් පාර්ශ්වය පැවසුවද, ශල්‍යකර්මයට පෙර සිදුකළ පරීක්ෂණවලදී වකුගඩු දෙක වෙන වෙනම පිහිටා තිබූ බවට දෙමාපියෝ පවසති. පශ්චාත් මරණ පරීක්ෂණයේදී වකුගඩු දෙකම ඉවත් කර ඇති බව තහවුරු වුවද, ඉවත් කළ බව කියන වකුගඩු අධිකරණයට ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් අසමත් වී ඇති අතර මුලින් පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයාගේ වැඩද තහනම් කර තිබිණි.අධිකරණ නියෝගයන්ට අනුව වගකිවයුතු නිලධාරීන් ඉදිරිපත් කිරීමට සහ අභ්‍යන්තර විමර්ශන වාර්තා ඉක්මනින් අධිකරණයට ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළ යුතු බව වෛද්‍ය සංජීව අවධාරණය කරයි. මේ අතර සාධාරණය ඉල්ලා දරුවාගේ ඥාතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවකද නිරත වී තිබේ.



























