දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීම හරහා රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුව ලබන ජූලි මස 23 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා ගොනු කර ඇති මෙම නඩුව එදිනට කැඳවීමට නියමිතව ඇත්තේ එහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය වෙනුවෙනි.මේ අතර 2016 වසරේ සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ බව කියන වංචා සහගත ක්‍රියාවක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ජූලි 22 වනදා යළි කැඳවීමට තීරණය විය. අදාළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසි පරිදි ස්ථාපිත වී නොමැති වීම හේතුවෙන් මෙම නඩුව කල් තැබුණු බව වාර්තා වේ.එසේම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ කැඳවූ අතර, එහිදී සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් සාක්ෂි විමසීම සිදු කෙරිණි. වැඩිදුර සාක්ෂි විමසීම සඳහා තවත් සාක්ෂිකරුවන් සිව්දෙනෙකුට සිතාසි නිකුත් කරමින් මෙම නඩුව ලබන ජූලි මස 02 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.අනෙක් අතින්, ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවත්නා නඩුවද පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ජූලි මස 31 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.



























