රටේ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව කැළණි ගඟේ දකුණු ඉවුර සහ අඹතලේ ජල පවිත්‍රාගාර ආශ්‍රිතව ජලයේ ගුණාත්මක භාවයට මතු වී තිබූ අවදානම් තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශවලට අනුකූලව ජල සැපයුම යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය තත්ත්ව පරීක්ෂණ සිදුකළ අතර, ජලය නියමිත ප්‍රමිතීන්ට අනුකූල බව පරීක්ෂණවලින් තහවුරු වීමත් සමඟ ජල බෙදාහැරීම යළි ඇරඹීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ අදාළ ජල පවිත්‍රාගාර වටා පිහිටි ප්‍රදේශවල ජල සැපයුම සාමාන්‍ය අතට පත්වනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වෙතත්, බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ වැනි ප්‍රදේශවල ජල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමට සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දන්වා සිටින ජල සම්පාදන මණ්ඩලය, පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගනු ලබන මෙම ක්‍රියාමාර්ගවලදී මහජනතාවගෙන් කාරුණික සහයෝගය අපේක්ෂා කරයි.



























