කොළඹ සහ වියට්නාමය යා කරන සෘජු ගුවන් සේවා හෙට සිට ඇරඹෙයි

වසර 15කට පසු වියට්නාම් රාජ්‍ය නායකයෙකු සිදු කරන පළමු නිල සංචාරය සනිටුහන් කරමින්, එම ජනරජයේ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා අද රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේ විශේෂිතම සන්ධිස්ථානයක් වන්නේ “වියට්නාම් එයාර්ලයින්ස්” සහ “වියට්ජෙට් එයාර්” ගුවන් සේවාවන් හරහා කොළඹ සිට හැනොයි සහ හෝ චි මිං නගර වෙත සෘජු ගුවන් ගමන් හෙට (08) සිට නිල වශයෙන් ආරම්භ කිරීමයි. මෙය දෙරට අතර සංචාරක හා වෙළෙඳ සබඳතාවල නව පිම්මක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​සංචාරයට සමගාමීව හෙට දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. එහිදී කෘෂිකාර්මික නවීකරණය, ඩිජිටල් ආර්ථිකය සහ අපනයන ප්‍රවර්ධනය වැනි ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් වැදගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය. වියට්නාමය සතු සාර්ථක ආර්ථික අත්දැකීම් මෙරට සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.​මීට අමතරව, වියට්නාම් ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පවත්වන අතර, පසුව දෙරටේ ආයෝජකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කර ඇති විශේෂ වෙළෙඳ සහ සංචාරක සංසදයක ප්‍රධාන දේශනය ද සිදු කිරීමට නියමිතව ඇත. මෙම සංචාරය හරහා ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,130

Leave A Reply

Your email address will not be published. Required fields are marked *