රටේ පවතින ආර්ථික අභියෝග සහ බාධක මැද වුවද, සෑම දරුවෙකුටම අධ්යාපනයේ උපරිම ප්රතිලාභ අත්කරගත හැකි පරිදි ශක්තිමත් අධ්යාපන පද්ධතියක් ගොඩනැඟීම රජයේ ප්රමුඛතම අරමුණක් බව අග්රාමාත්ය මෙන්ම අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කර තිබේ. ඇය මේ බව සඳහන් කළේ පොළොන්නරුව විජිත ප්රාථමික විද්යාලයේ අලුතින් ඉදි කරන ලද දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.රජයේ මිලියන 55ක පමණ ප්රතිපාදන යටතේ ඉදිකර ඇති මෙම නව ගොඩනැගිල්ල ප්රාථමික පන්ති කාමර අටකින් සමන්විත වන අතර, එහිදී සිසුන්ගේ අධ්යයන හා සුබසාධන කටයුතු පිළිබඳවද අග්රාමාත්යවරියගේ විශේෂ අවධානය යොමු විය. නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමේදී හුදෙක් විෂයමාලා වෙනස් කිරීම පමණක් ප්රමාණවත් නොවන බවත්, ඒ සඳහා අවශ්ය යටිතල පහසුකම්, ගුරු පුහුණුව සහ යහපත් පාසල් පරිසරයක් ද එකසේ සංවර්ධනය කළ යුතු බවත් ඇය එහිදී අවධාරණය කළාය.ඉදිරි වසරවලදී අධ්යාපන හා සෞඛ්ය ක්ෂේත්ර සඳහා තවත් වැඩි ප්රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්, අධ්යාපන ක්ෂේත්රයේ වෘත්තීයභාවය සහ ගුණාත්මකභාවය තහවුරු කිරීමට අධ්යාපන සභාවක් පිහිටුවීමේ නෛතික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් අගමැතිවරිය වැඩිදුරටත් පැවසුවාය. මෙම ගමන සාර්ථක කර ගැනීමට ගුරුවරුන්ගේ කැපවීම මෙන්ම දෙමාපියන්ගේ සහ ප්රජාවගේ සහයෝගය ද අත්යවශ්ය බව ඇය පෙන්වා දුන්නාය.



























