රුපියල් මිලියන 120 ක අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා, අවශ්‍ය ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (30) බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජූලි 28 වන දින හිටපු යුක්ති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ අරුණ ශ්‍රී වරුෂහන්නදිගේ යන සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස නියෝග කළ අතර, ඒ අතරින් රකිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී වරුෂහන්නදිගේ යන අය එදිනම ඇප කොන්දේසි සපුරා නිදහස් වුවද, චරිත් අබේසිංහ මහතාට එම අවස්ථාවේදී ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම නිසා යළි බන්ධනාගාරගත කරනු ලැබීය. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” නමැත්තාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් මුදාහැර ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීම සඳහා මෙම අල්ලස ලබාගත් බවට මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත.


























