ලෝකය පුරා අහිංසාවාදයේ පණිවිඩය ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සමගාමීව පැවැත්වෙන විශේෂ “අසදිස පූජාව” හෙට (21) පස්වරු 3:00ට අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ආරම්භ වේ. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය කර්මය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. මේ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 200කට අධික කණ්ඩායමක් යොදවා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.මෙම ගමනට නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස හෙට අලුයම දිවයිනට ළඟා වන අතර, ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට පැමිණෙන සුප්‍රකට “ආලෝකා” සුනඛයා ද මෙම චාරිකාවට එක්වීම විශේෂත්වයකි. නිල පාද යාත්‍රාව අප්‍රේල් 22 වනදා දඹුල්ලෙන් ආරම්භ වී මාතලේ අළුවිහාරය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, කෑගල්ල, තෝලංගමුව සහ යක්කල හරහා අප්‍රේල් 27 වනදා වන විට ඓතිහාසික කැලණිය රජමහා විහාරය වෙත ළඟා වීමට නියමිතව ඇත.පාද යාත්‍රාවේ අවසන් අදියර අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වන අතර, එහිදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවැත්වෙන උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය. ඉන් අනතුරුව පාද යාත්‍රාව කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමෙන් පසු මෙම සත් දින ජාත්‍යන්තර සාම චාරිකාව නිමාවට පත් වනු ඇත.

























