පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය වපුරමින් රට අසමගියට තල්ලු කළ අතීත යුගය මේ වන විට නිමා වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේදී පැවැති සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමයේ (YMMA) 76 වැනි සංවත්සර මහා සභාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. රට බංකොලොත්භාවයට පත් වූ පසුගිය යුගයේ උදා වූ රන්වන් අවස්ථාවන් පවා ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් අසමගිය වපුරමින් නාස්ති කළ ආකාරය ඔහු සිහිපත් කළේය.2024 වසරෙන් පසුව එවැනි ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීම්වලට රට තුළ කිසිදු ඉඩක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, ශිෂ්ට සම්පන්න සහ විනයගරුක සමාජයක් ගොඩනැගීමට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන සියලු ජාතීන් එකම මවකගේ දරුවන් සේ සමගියෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය. මිනිසුන් ලෙස අප අතර කිසිදු වෙනසක් නොමැති බව පවසන ඔහු, රටේ ආර්ථිකය හා නීතිය ස්ථාපිත කිරීමට මෙම එකමුතුකම අත්‍යවශ්‍ය සාධකයක් බව වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම, වසර 70කට අධික කාලයක් සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය රට වෙනුවෙන් සිදු කර ඇති සමාජ සේවා කාර්යභාරය ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය. විශේෂයෙන්ම මෑතකදී ඇති වූ ආපදා අවස්ථාවන්හිදී, තම ප්‍රදේශ හෝ ජාති භේදයකින් තොරව විපතට පත් වූවන් වෙනුවෙන් එම සංගමයේ තරුණයින් ඉටු කළ සේවය සහ ඔවුන් ප්‍රායෝගිකව විදහා දැක්වූ සහෝදරත්වය ඔහු මහත් සේ අගය කළේය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිහ් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



























