සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා මහතාගේ දඬුවම ඉවත් කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැසසුමට ලක්ව තිබේ. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම තීරණය අනෝජන්ගේ පවුලේ අයට මෙන්ම සමස්ත ශ්රී ලාංකිකයන්ටම විශාල සහනයක් බවයි.දෙරට අතර පැවැති ඉවසිලිවන්ත රාජ්ය තාන්ත්රික මැදිහත්වීම සහ සියලු පාර්ශ්වයන්ගේ අප්රතිහත උත්සාහය මෙම යහපත් ප්රතිඵලයට හේතු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් සහය දැක්වූ සෞදි රජයට, රාජ්ය නිලධාරීන්ට සහ නීති කණ්ඩායම්වලට සිය ස්තූතිය පිරිනැමීය.ඉතිරි නීතිමය ක්රියාපටිපාටීන් අවසන් වන තෙක් අනෝජන් ඇතුළු පවුලේ අයට අවශ්ය උපරිම සහයෝගය ලබාදීමට රජය සූදානම් බව පැවසූ ඒ මහතා, ජීවනෝපාය තකා විදේශගත වන කිසිදු ශ්රී ලාංකිකයෙකු තමන් තනිවී ඇතැයි සිතිය යුතු නැති බවද වැඩිදුරටත් අවධාරණය කළේය.



























