රට තුළ ඉහළ යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. 2026 වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 44,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කොළඹ, ගම්පහ සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 14ක රෝග ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමක පවතී. කෙසේ වෙතත්, රෝගය පාලනය කරගත හැකි තත්ත්වයක පවතින බව පවසන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.පාසල් සිසුන්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන අමාත්‍යාංශය, දරුවන් පාසලට නොයවා සිටීම වෙනුවට පාසල්, පෙරපාසල් සහ පෞද්ගලික පන්ති පරිශ්‍රයන් මදුරු කීටයන්ගෙන් තොරව පවත්වා ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස දැනුම් දෙයි. දරුවන්ගේ පාසල් බෑග්, ජල බඳුන් සහ පාසල් වත්තේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කර පරිශ්‍ර පිරිසිදු කිරීම ගුරුවරුන්ගේ සහ දෙමව්පියන්ගේ වගකීමක් බව පෙන්වා දේ. යම් දරුවෙකුට උණ රෝග ලක්ෂණ ඇත්නම් ඔහුව පාසලට හෝ පොදු ස්ථානවලට නොයවා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.රජයේ මැදිහත්වීමට අමතරව නිවෙස්, කාර්යාල සහ සෑම ආයතනයක්ම සතියකට වරක් මදුරු කීට මර්දන දිනයක් ලෙස වෙන් කර තම පරිසරය පිරිසිදුව තබා ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. රෝගයක් වැළඳුණු විට වෛද්‍ය උපදෙස්වලින් තොරව වෙනත් වේදනා නාශක භාවිත නොකර, පැරසිටමෝල් පමණක් භාවිතා කරමින් කඩිනමින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සිහිපත් කරයි.



























