උපතේ සිට වයස අවුරුදු 12 දක්වා දරුවන් රැකබලා ගැනීමේ මූලික සහ සම්පූර්ණ වගකීම මව්පියන් මෙන්ම භාරකරුවන් සතු වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීමට එක්වෙමින් ඇය අවධාරණය කළේ, තමන් මුහුණ දෙන අහිතකර තත්ත්වයන් පිළිබඳව අවබෝධ කර ගැනීමට දරුවෙකුට වයස අවුරුදු 12-13ක් පමණ වන බැවින්, ඊට අඩු වයසේ පසුවන දරුවන්ගේ ආරක්ෂාව පැහැරහරින පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පවුල් හෝ ආර්ථික ගැටලු මෙන්ම කාර්යබහුලත්වය දරුවන් අනාරක්ෂිත කිරීමට හේතුවක් කර නොගත යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.මෙම අරමුණ පෙරදැරිව, ළමුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ රාජ්‍ය ආයතන එකිනෙක සම්බන්ධ කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒකාබද්ධ දත්ත පද්ධතියක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව පොලිසිය, බන්ධනාගාර, ග්‍රාම නිලධාරීන්, පාසල් සහ ළමාරක්ෂක නිලධාරීන් වැනි අංශ හරහා ලැබෙන තොරතුරු ක්‍රමවත්ව විශ්ලේෂණය කරමින් ආයතන අතර පවතින අන්තර් සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගැනේ.මාතර දිස්ත්‍රික්කයේ වෙසෙන ලක්ෂ තුනකට අධික ළමා ජනගහනයේ සහ කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව මෙම කමිටු රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු විය. එහිදී දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිවාසිකම් සුරැකීම, ලිංගික හිංසනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම වැළැක්වීම වැනි කාලීන ගැටලු රැසක් පිළිබඳව පුළුල් ලෙස කරුණු සාකච්ඡා කර තිබේ.

























